
පෙම්වතියකට තම පෙම්වතාගේ හඬ ලොව මිහිරිම ස්වරය වන්නට පුළුවනි. (ඇතැම්විට එහෙම නොවන්නත් පුළුවනි) ඒත් මේ ප්‍රේම කතාව වෙනස් එකකි. මේ ප්‍රේම කතාව, චීනයේ ෂියාමෙන් නගරයේ වාසය කරන එක්තරා තරුණියකට මුහුණ දීමට සිදු වූයේ සිතාගත නොහැකි අකරතැබ්බයක් ගැනය. මෙය ප්‍රබන්ධයක් නොවෙයි.
සැබෑවකි.
මේ තරුණිය දිනක් උදෑසන අවදි වෙද්දී ඇයට ඇගේ පෙම්වතා පවසන කිසිවක් ඇසෙන්නේ නැතිවිය. මෙය හිටිහැටියේ සිදුවුණු දෙයකි. ඇයට කාන්තාවන්ගේ හඬ හොඳින් පැහැදිලිව ඇසෙන්න විය.
අවට ඇති දේවල්වල හඬ පහසුවෙන් ඇසෙන්න විය. නෑසෙන්න වූයේ පෙම්වතාගේ හඬ පමණි.
පෙම්වතියකට පෙම්වතාගේ හඬ පමණක් නෑසී යෑම ඒ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධයේ ගැටලුවක් නිසා හෝ දෙදෙනා අතරේ අමනාපයක් සිදුවුණු නිසා යැයි ඔබට සිතෙන්න පුළුවනි.
ඒත් වෛද්‍යවරුන්ට අනුව, මෙය ඉතා දුර්ලභ රෝගාබාධයකි. වෛද්‍යවරුන් මෙම රෝගී තත්ත්වය හඳුන්වා දෙන්නේ ‘ප්‍රතිලෝම බෑවුම් ශ්‍රවණාබාධය’ (Reverse Slope Hearing Loss) යනුවෙනි. ඇත්තෙන්ම මෙය ඉතාමත් දුර්ලභ රෝගී තත්ත්වයකි.
සාමාන්‍යයෙන් වයසට යෑමත් සමඟ බොහෝ දෙනකුට ඇති වන ශ්රවණාබාධවලදී අහිමි වන්නේ ‘උච්ච ස්වර’ (High-pitched sounds) හෙවත් සිහින් ශබ්ද ඇසීමේ හැකියාවය. එසේ වුවත් මේ චීන තරුණියට වැළඳී ඇති රෝගයේදී සිදුවන්නේ එහි අනෙක් පැත්ත යැයි වෛද්‍යවරුන් පැවැසුවේ ඇය පර්යේෂණ ගණනාවකට යොමු කිරීමෙන් පසුවය.
වෛද්‍යවරුන්ට අනුව, ඇයට අහිමි වී ගොස් ඇත්තේ ‘මන්ද්‍ර ස්වර’ (Low-frequency sounds) හෙවත් ගොරෝසු ශබ්ද ඇසීමේ හැකියාවය.
බොහෝ පිරිමින්ගේ කටහඬවල් පිහිටා ඇත්තේ මෙම මන්ද්‍ර ස්වර පරාසය තුළය. ඇයට ඇගේ පෙම්වතාගේ හඬ ඇසෙන්නේ නැතිව ගියේ ඒ නිසා යැයි වෛද්‍යවරුන්ගේ පැහැදිලි කිරීමය.
කෙසේ නමුත්, උච්ච ස්වර පරාසයේ ඇති කාන්තා හඬවල් ඇයට සාමාන්‍ය පරිදි ඇසෙයි.
මෙම රෝගයට ‘ප්‍රතිලෝම බෑවුම්’ යන නම ලැබී ඇත්තේ වෛද්‍යවරුන් ශ්‍රවණ පරීක්ෂාව සඳහා භාවිත කරන ‘ඕඩියෝග්රෑම්’ (Audiogram) සටහන නිසාය. සාමාන්‍ය ශ්රවණාබාධයකදී මෙම සටහනේ රේඛාව ඉහළ සිට පහළට බෑවුමක් ලෙස ඇඳෙන නමුත්, මෙම රෝගීන්ගේ සටහනේ රේඛාව ඇඳෙන්නේ පහළ සිට ඉහළටය.
මෙම තත්ත්වය හුදෙක් පිරිමි හඬට පමණක් සීමා වූවක් නොවේ. පිරිමියකු වුවද සිහින් හඬකින් කතා කරන්නේ නම් ඇයට එය ඇසෙනු ඇත. එමෙන්ම බෙර හඬවල්, ගිගුරුම් හඬවල් වැනි බර ශබ්ද පවා මෙවැනි රෝගීන්ට ඇසෙන්නේ නැත.
මෙම රෝගය හඳුනාගැනීම ඉතා අසීරු බව වෛද්‍යවරු පවසති. මිනිසුන් සාමාන්‍යයෙන් තියුණු ශබ්ද ඇසෙන්නේ නැති වූ විට එය ඉක්මනින් හඳුනා ගත්තද, බර ශබ්ද ක්‍රමයෙන් අඩුවීම හඳුනා ගැනීමට වසර ගණනාවක් ගත විය හැකිය. මෙනියර්ගේ රෝගය (Meniere’s disease), වයිරස් ආසාදන, වකුගඩු අකර්මණ්‍ය වීම හෝ මොළය ආශ්රිත පීඩන වෙනස්වීම් වැනි කරුණු මේ සඳහා බලපෑ හැකිය.
මේ සඳහා ප්‍රතිකාර ලෙස, ශ්‍රවණ ආධාරක (Hearing aids) භාවිත කළ හැකි බව වෛද්‍යවරු පැහැදිලි කරති. වාසනාවකට මෙන්, එම චීන තරුණියගේ පෙම්වතාට වෛද්‍යවරුන් සහතික වී ඇත්තේ ඇයට ඔහුගේ හඬ ඇසෙන්නේ නැත්තේ ඔහු සමඟ ඇති අමනාපයක් නිසා නොව, දෛවෝපගත වෛද්‍ය ගැටලුවක් නිසා බවය.
ලුසිත ජයමාන්න
NDTV ඇසුරිනි